2024 ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහ මැතිවරණයෙන් තාරික් රහ්මාන් මහතාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ. අද (13) උදෑසන නිකුත් වූ නිල ප්‍රතිඵලවලට අනුව ආසන 300කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 151ක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇති අතර, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව 211 දක්වා ඉහළ යා හැකි බවයි.
වසර 15ක් බලයේ සිටි ෂෙයික් හසීනා මහත්මිය රටින් පළවා හැරීමෙන් පසු පැවැති මෙම මැතිවරණයට ඇයගේ අවාමි ලීගයට තරග කිරීම තහනම් කර තිබුණි. හසීනාගේ නික්මයාමත් සමඟ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා යම් පසුබෑමකට ලක්ව තිබුණද, මෙම ජයග්‍රහණයත් සමඟ සුබ පැතුම් එක් කළ පළමු රටවල් අතරට ඉන්දියාව එක්වීම විශේෂත්වයකි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව අගමැති රහ්මාන් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බංග්ලාදේශයක් වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, දෙරටේ පොදු සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නව රජය සමඟ සමීපව කටයුතු කරන බවත් අගමැති මෝදි එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














