මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසලදී යුද හමුදාවට අයත් නිල මෝටර් රථයක් අනතුරකට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට බරපතළ සැකයක් මතු වී තිබේ. පසුගිය 10 වන දා දහවල් කාලයේදී සිදු වූ මෙම අනතුරෙන් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ මෝටර් රථය පසුපසට ධාවනය වී විද්‍යාලයේ ගේට්ටුවේ ගැටී ඇති අතර, රථය පැදවූයේ කාන්තාවක් බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතී. ඇසින් දුටු සාක්ෂිවලට අනුව, අනතුර සිදු වූ වහාම මෝටර් රථයේ සිටි කාන්තාවක් ඉන් බැස පලා ගොස් ඇති බවත්, පසුව තමන් රථය පැදවූ බව පවසමින් හමුදා සෙබළෙකු පොලිසියට භාර වී ඇති බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, අනතුර සිදුවන අයුරු විද්‍යාලයේ සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියේ සටහන්ව තිබීම විමර්ශනවලට තීරණාත්මක වී තිබේ.
පොලිසිය පවසන්නේ අදාළ මෝටර් රථය යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ සහ දරුවන්ගේ ගමන් බිමන් සඳහා නිල වශයෙන් ලබා දී ඇති රථයක් බවයි. සාමාන්‍යයෙන් යුද හමුදාව මෙවැනි රථ ලබා දෙන්නේ රියදුරෙකු ද සමඟින් බැවින්, නිත්‍යානුකූලව හමුදා රියදුරෙකු හැර වෙනත් සිවිල් වැසියෙකුට එම රථය පැදවිය නොහැක. මේ හේතුවෙන් සිද්ධිය වසන් කිරීමට හමුදා සෙබළෙකු ඉදිරිපත් වූයේද යන්න පිළිබඳව මහනුවර පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඉදිරිපත් වූ සෙබළා පවසන්නේ අසත්‍යයක් නම් ඔහුට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවට පොලිසිය අනතුරු අඟවයි.














