තමා සේවය කළ වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක මුදලක් සොරකම් කර පලාගොස් සැඟව සිටි සැකකරුවෙකු මෙම මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා අද (13) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෝපායි, උරුන්දිරායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි චන්ද්‍රසේකරම් රොක්ෂාන් නමැති තරුණයෙකි. සැකකරු ගාල්ල ඕල්කට් මාවතේ පිහිටි වෙළඳසැලක වසර හයක පමණ කාලයක සිට විශ්වාසවන්ත සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, වෙළඳසැල් හිමියා ව්‍යාපාරික කටයුත්තකට ගාල්ලෙන් බැහැරව ගිය අවස්ථාවක මෙම සොරකම සිදුකර තිබේ.
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ එදින රාත්‍රියේ සැකකරු වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක මුදල සොරකම් කර, ඉදිරිපස දොර අගුලු දමා එහි යතුර අසල තිබූ ගලක් යට සඟවා පලාගොස් ඇති බවයි. පසුදින වෙළඳසැල් හිමියා පැමිණි අවස්ථාවේ වෙළඳසැල වසා තිබීම හේතුවෙන් සැකකරුට ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී යතුර ඇති ස්ථානය පැවසූ සැකකරු පසුව දුරකථනය ක්‍රියා විරහිත කර සැඟව ගොස් තිබේ. වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී මුදල් සොරකම් කර ඇති බව අනාවරණය වී ඇති අතර, සැකකරු මුදල් සොරාගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල ද පැහැදිලිව සටහන්ව තිබිණි. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කෝපායි ප්‍රදේශයට ගොස් සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.














