2025 නොවැම්බර් මස අවසානයේ ශ්‍රී ලංකාව හරහා හමාගිය “දිට්වා” (Ditwa) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය මඟින් පිරිනැමූ සියලු සහන දීමනා ගෙවා අවසන් බව දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශ කර තිබේ. ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සමාලෝචන සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, ආපදාවට පත් පවුල් සඳහා අනුමත කර තිබූ රුපියල් 50,000 ක උපකරණ දීමනාව, රුපියල් 25,000 ක සහන දීමනාව සහ පාසල් දරුවන් වෙනුවෙන් ලබාදුන් රුපියල් 15,000 ක සිසු දීමනාව යන සියල්ල මේ වන විට අදාළ ප්‍රතිලාභීන් වෙත සම්පූර්ණයෙන් ගෙවා නිම කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් තහවුරු කරන ලදී.
දිස්ත්‍රික්ක 25 කට බලපෑ මෙම ආපදා තත්ත්වය හමුවේ පවුල් ලක්ෂයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලැබූ අතර, නිවාස පිරිසිදු කිරීමේ දීමනා සහ අනෙකුත් හදිසි ආධාර ද දැනටමත් ලබා දී ඇත. මීට අමතරව, නිවාස ප්‍රතිසංස්කරණය සහ වගා හානි වන්දි ගෙවීමේ කටයුතු ද “යළි නැගිටින ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














