අකුරේගොඩ ප්‍රදේශයේදී අද (13) සන්ධ්‍යාවේ සිදුවූ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතල තර්ජනයක් බව එම සංගමය පෙන්වා දෙයි.
හඳුනා නොගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකරන ලද මෙම ඝාතනය සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය කම්පනය පළ කර ඇති අතර, සිද්ධිය පිළිබඳව කඩිනම් සහ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙයට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.
මහජනතාවට යුක්තිය ඉටුකිරීමේ පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කිරීමටත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදී වළක්වා ගැනීමටත් අවශ්‍ය ප්‍රායෝගික පියවර ගන්නා ලෙස නීතිඥ සංගමය පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














