ලබන අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික වාහන සඳහා 2.5%ක නව බද්දක් පැනවීමට රජය තීරණය කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි. 2026 අයවැය යෝජනාවකට අනුව මෙම බද්ද පනවා ඇති අතර, එහි අය කිරීම් සෘජුවම ශ්‍රී ලංකා රේගුව මඟින් සිදු කරනු ලබයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආරෝෂ රොඩ්රිගෝ මහතා සඳහන් කළේ, දැනට රේගු නිශ්කාශන කටයුතු සිදු කෙරෙන වාහන සඳහා මෙම බද්ද බලනොපාන බවයි. කෙසේ වෙතත්, වාහනවල ඉහළ වටිනාකම හේතුවෙන් මෙම 2.5%ක බද්ද පාරිභෝගිකයාට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. උදාහරණයක් ලෙස, රුපියල් මිලියන 10ක් වටිනා වාහනයක් සඳහා රුපියල් 250,000ක අමතර මුදලක් ගෙවීමට සිදුවන අතර, එමඟින් අප්‍රේල් මාසයෙන් පසු වෙළඳපොළේ වාහන මිල කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














