2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීම රජයේ ඉලක්කය බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු අනාවරණය කරති. 2026 අයවැය ප්‍රතිපාදනවලට අදාළ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේදී මෙම තොරතුරු ඉදිරිපත් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පෙන්වා දුන්නේ දැනට මෙරට 98%ක අන්තර්ජාල ආවරණයක් පැවතියද, එය අධිවේගී සබඳතා අවශ්‍යතාවයට සරිලන මට්ටමක නොමැති බවයි. එම ධාරිතාව වැඩිකිරීම සඳහා මෙම වසර තුළ පමණක් අලුතින් දුරකථන සන්නිවේදන කුළුණු 100ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ජාතික අවශ්‍යතාවය සපුරාලීමට එවැනි කුළුණු 600ත් 1000ත් අතර ප්‍රමාණයක් පියවරෙන් පියවර ඉදිකිරීමට නියමිතය.
විශේෂයෙන්ම සෑම දරුවෙකුටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා දැනට පවතින ධාරිතාව 25%කින් පමණ ඉහළ නැංවිය යුතු බව ඔහු අවධාරණය කළේය. මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයට ද ලංසු ඉදිරිපත් කළ හැකි වාණිජ මොඩලයක් සකස් කරන බව ද මෙහිදී ප්‍රකාශ විය. මීට අමතරව කොළඹින් බැහැර ප්‍රදේශවල ඩිජිටල් සාක්ෂරතාවය නංවාලීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කාරක සභාවේ අවධානය යොමු වී ඇත.














