කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන “ඉන්දියා–AI බලපෑම් සමුළුව 2026” (India–AI Impact Summit 2026) සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සූදානම් වේ. මෙම සමුළුව පෙබරවාරි 16 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉන්දීය රජය විසින් සත්කාරකත්වය දරනු ලබන මෙම සමුළුවට ලෝක නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්වනු ඇත. “මිනිසුන්, පෘථිවිය සහ ප්‍රගතිය” (People, Planet and Progress) යන ප්‍රධාන තේමාවන් ත්‍රිත්වය ඔස්සේ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම මෙහි අරමුණයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර ප්‍රංශය, බ්‍රසීලය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් ද මෙයට සහභාගී වීමට නියමිතය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ඉහළ නිලධාරීන් සහ රටවල් 45ක අමාත්‍ය මට්ටමේ නියෝජිත පිරිස් මේ සඳහා එක්වනු ඇත.
වගකීම් සහගත AI තාක්ෂණය සංවර්ධනය කිරීම, ගෝලීය පාලන රාමු සකස් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.













