අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් රථගාලකදී නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථයේ අංක තහඩුව කොට්ටාව පොලිසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීමෙන් පසු පලායන අතරතුර මෝටර් රථය යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් මෙම අංක තහඩුව බිම වැටෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ, ඝාතනයට ලක්වූ 45 හැවිරිදි නීතිඥවරයා ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ වෙනුවෙන් ඊයේ (14) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට ඇති බවයි. මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ඊයේ පස්වරු 5:20 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයේදී, මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ මිලිමීටර් 9 පිස්තෝලයකින් නීතිඥවරයා සහ ඔහුගේ 42 හැවිරිදි බිරිඳ ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.














