මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි. දැනට මරණ දඬුවම නියම වුවද එය ක්‍රියාත්මක නොවන බැවින් අපරාධකරුවන්ට ලැබෙන්නේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පමණක් බව පෙන්වා දෙන ඔහු, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට නම් සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරමින් අවම වශයෙන් මාස හයක කාලයකටවත් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරයි.
රට පුරා සිදුවන අපරාධ රැල්ල පාලනය කිරීම සඳහා අනවසර ගිනි අවි එකතු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්, ඒ සඳහා ගිනි අවි ආඥා පනත සංශෝධනය කළ යුතු බවත් මහාචාර්යවරයා යෝජනා කරයි. 1988-89 භීෂණ සමයේ සහ යුද සමයේදී සමාජයට එක්වූ අනවසර ගිනි අවි තවමත් අපරාධකරුවන් අත පවතින බව පවසන ඔහු, මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ගිනි අවි පාලනය නොකළහොත් අහිංසක ජීවිත තවදුරටත් බිලිවනු ඇති බවට අනතුරු අඟවයි. මීට අමතරව, නීතිඥයෙකුට ඕනෑම අයෙකු වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇති බවත්, යම් නීතිඥයෙකු වරදක් කරන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














