වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන “Mood of the Nation” නවතම මත විමසුමට අනුව, ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මග පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය සහ රජය කෙරෙහි පවතින ප්‍රසාදය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 2026 පෙබරවාරි මුලදී පවත්වන ලද මෙම සමීක්ෂණයට අනුව රජයේ අනුමැතිය (Approval rating) සියයට 65ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය වසරකට පෙර වාර්තා වූ සියයට 62ක මට්ටමට වඩා ස්ථාවර වර්ධනයකි.
වසර හතරක සමීක්ෂණ ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, රටේ වත්මන් ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස හඳුන්වන පිරිස, එය “දුර්වල” ලෙස හඳුන්වන පිරිස අභිබවා ගොස් ඇත. ආර්ථිකය යහපත් වෙමින් පවතින බව පවසන පිරිස සියයට 55 සිට සියයට 64 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ආර්ථික විශ්වාස දර්ශකය (Economic Confidence Index) +36ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, රටේ සිදුවන සමස්ත ක්‍රියාවලිය පිළිබඳව තෘප්තිමත් වන පිරිස සියයට 59ක් ලෙස සටහන් වන අතර, මෙය සමීක්ෂණ ඉතිහාසයේ එම අගය සියයට 50 ඉක්මවා ගිය පළමු අවස්ථාවයි.
වර්තමාන පරිපාලනය පසුගිය රජයන් සමඟ සංසන්දනය කිරීමේදී, මත්ද්‍රව්‍ය සහ අපරාධ අවම කිරීමට රජය ගන්නා උත්සාහයන් සඳහා ජනතාවගෙන් ඉහළම ඇගයීමක් ලැබී තිබේ. දූෂණය අවම කිරීමට ගන්නා පියවරවලටත් වඩා සාධනීය ප්‍රතිචාරයක් අපරාධ මර්දන වැඩපිළිවෙලවල් සඳහා ජනතාව ලබා දී තිබීම විශේෂත්වයකි. මෙම සමීක්ෂණය දිවයින පුරා විසිරී සිටින වැඩිහිටි පුද්ගලයන් 1,048 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ඇසුරින් ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා කාලය තුළ පවත්වනු ලැබීය.














