2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (15) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති තීරණාත්මක තරගයකින් නේපාල කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේ “Super 8” වටය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම බවට ද පත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 133ක් රැස් කළේය. නේපාල ඉනිම වෙනුවෙන් දීපේන්ද්‍ර සිං අයිරි (Dipendra Singh Airee) පන්දු 47කදී ලකුණු 58ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අතර සෝම්පාල් කාමි (Sompal Kami) නොදැවී ලකුණු 26ක් රැස් කළේය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේසන් හෝල්ඩර් (Jason Holder) ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය. නායක ෂායි හෝප් (Shai Hope) නොදැවී ලකුණු 61ක් සහ ෂිම්රොන් හෙට්මයර් (Shimron Hetmyer) නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් නොබිඳුණු 91ක සබඳතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන ලදී. මෙම පරාජයත් සමඟ නේපාල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය.














