ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කරන ලද තමිල්නාඩු ධීවරයින් වහාම යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් ඉල්ලා සිටියි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පසුගිය පෙබරවාරි 03 වනදා අත්අඩංගුවට ගත් ධීවරයින් 12 දෙනෙකු සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පැවති නඩු විභාගයකදී බෝට්ටු පදවන්නන් තිදෙනෙකුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බවයි. එමෙන්ම එක් අයෙකුට රුපියල් ලක්ෂ 11.60 ක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් අතිරේක මාස තුනක සිරදඬුවමක් නියම වී ඇති බවද එම ලිපියේ සඳහන් වේ.
නිදහස් කිරීමට නියෝග කළ අනෙක් ධීවරයින් 09 දෙනා මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ස්ටාලින් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත. මෙරට නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එරට වෙරළබඩ ධීවර ජනතාව දැඩි ආර්ථික සහ මානසික පීඩනයකට ලක්ව ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.














