2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව අධි චෝදනා 23,270ක් යටතේ විභාග වන මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (13) අවසන් කර තිබේ. වසර පහකට ආසන්න කාලයක් දින 547ක් පුරා පැවති මෙම අදියරේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, අවසන් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය අගෝස්තු 17 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය දින නියම කර තිබේ. විත්තිකරුවන්ට දිවුරුම් පිට සාක්ෂි ලබාදී හරස් ප්‍රශ්නවලට මුහුණදීමට, විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට හෝ නිහඬව සිටීමට ඇති නීතිමය අයිතිවාසිකම්ද අධිකරණය විසින් පැහැදිලි කර දී තිබේ. නඩුව මුලින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව පැවරුණද 2021දී එක් විත්තිකරුවෙකු මියයාමෙන් පසු මේ වනවිට විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩුව විභාග වෙයි.
මෙතෙක් පැවති සාක්ෂි විභාගයේදී චූදිතයන්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය, අවි සහ බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076ක් ලකුණු කර තිබේ. රජයේ රස පරීක්ෂක, DNA, වෛද්‍ය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා රැසක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති අතර, පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමත් සමඟ මෙම දීර්ඝ නඩු විභාගය විත්තියේ සාක්ෂි කැඳවීමේ තීරණාත්මක අදියරට පිවිසෙයි.












