ගාසා තීරයේ උතුරු සහ දකුණු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පලස්තීන වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර අතුරින් පළමුවැන්න ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පිහිටි අවතැන් වූවන් රැඳී සිටි කූඩාරම් සහිත කඳවුරක් වෙත එල්ල වී ඇති අතර, ඉන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. පීඩාවට පත් ජනතාව විවේක සුවයෙන් පසුවූ අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සහන සේවා කණ්ඩායම් පෙන්වා දෙයි.
මේ අතර ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යුනිස් ඉලක්ක කරගනිමින් එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් තවත් පලස්තීනුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය විසින් පවතින සටන් විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමට එරෙහිව මෙම “නිරවද්‍ය” (Precise) ප්‍රහාර එල්ල කළ බවයි. විශේෂයෙන්ම සටන්කාමීන් උමං මාර්ගවලින් මතු වී සිය සීමාවන් ආසන්නයට පැමිණීම සටන් විරාමය කඩ කිරීමක් බව ඔවුන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, හමාස් සංවිධානය මෙම ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දකින අතර ඒවා අවතැන් වූ සිවිල් ජනතාව ඉලක්ක කරගනිමින් සිදුකළ “මනුෂ්‍ය ඝාතන” ලෙස හඳුන්වා දී තිබේ. මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති “Board of Peace” සාම මණ්ඩලයේ පළමු හමුවීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි.














