මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු සහ ඔවුන් පැමිණි ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ. කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි. මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම සහ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරන අඛණ්ඩ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදු කර ඇත.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සහ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා කන්කසන්තුරය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි. උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින්ගේ නීතිවිරෝධී මැදිහත්වීම් පාලනය කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවන අතර, මෙම අත්අඩංගුවට ගැනීම ද එහි තවත් එක් පියවරකි.















