විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින්, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය. වසර තුනක් ඇතුළත විදුලි බිල අඩු කිරීමේ රජයේ ඉලක්කය කරා ස්ථාවරව ගමන් කරන බව අවධාරණය කළ ඒ මහතා, මාධ්‍ය මගින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ විදුලි නිෂ්පාදන පිරිවැය කළමනාකරණය සඳහා දැනටමත් නිශ්චිත ක්‍රමවේදයක් පවතින බවයි.
විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන දත්ත මහජන උපයෝගිතා කොමිසම මගින් නිරීක්ෂණය කරන අතර, නිෂ්පාදන පිරිවැය විචලනය වීම මත ගාස්තු සංශෝධනය විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ආගමික ස්ථාන සඳහා දැනටමත් විදුලිය ලබා දෙන්නේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලකට බවත්, නිල යාන්ත්‍රණය හරහා නිවේදනයක් නිකුත් වන තෙක් බාහිර ප්‍රචාරයන් මත පදනම්ව නිගමනවලට නොඑළඹෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
විදුලි බිල අඩු කිරීමේ මැතිවරණ පොරොන්දුව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එය කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නවාක් මෙන් ක්ෂණිකව කළ නොහැකි, වසර තුනක පමණ කාලයක් පුරා ක්‍රමිකව සිදුකළ යුතු වැඩපිළිවෙළක් බවයි. නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීමේ දිගුකාලීන උපායමාර්ග හරහා විදුලි බිල ස්ථාවර කරමින් අඩු කිරීමට රජය කැපවී සිටින බවත්, පවතින උත්පාදන සංයුතියේ වෙනස්කම් මත මිලෙහි තාවකාලික විචලනයන් සිදු වුවද අවසන් අරමුණ ජනතාවට සහන සැලසීම බවත් ඔහු අවධාරණය කළේය.














