අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරමින්, අද (17) සිට දිවයින පුරා අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
වසර 14 කට පසු කැඳවූ හදිසි නියෝජිත රැස්වීමක තීරණයකට අනුව ඊයේ (16) දිනයේ නීතිඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දිවයිනේ සියලුම අධිකරණවල කටයුතුවලට දැඩි බාධා එල්ල විය. මේ හේතුවෙන් බොහෝ නඩු විභාගයන් කල් දැමීමට විනිසුරුවරුන් පියවර ගත් අතර, පොළොන්නරුව, හෝමාගම, බණ්ඩාරගම, ගාල්ල සහ මිනුවන්ගොඩ ඇතුළු අධිකරණ පරිශ්‍ර රැසක කළු කොඩි ඔසවා විරෝධය පළ කරනු දක්නට ලැබුණි.
මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිටදී නීතිඥවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වූයේ ඝාතනයට ලක්වූ තම වෘත්තීය සගයාට සහ ඔහුගේ බිරිඳට සාධාරණය ඉටුකරන ලෙසත්, වැරදිකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් බල කරමිනි. කෙසේ වෙතත්, මහජනතාවට සිදුවන අපහසුව සැලකිල්ලට ගනිමින් අද සිට නැවතත් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු සඳහා සහභාගී වීමට නීතිඥවරුන් තීරණය කර ඇත.














