ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතාවල නව මාවතක් විවර කරමින්, දෙරට අතර අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය ඊයේ (16) මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහනේ විශේෂිතම අවස්ථාව වූයේ දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතාව විධිමත් කිරීම සඳහා වූ සහයෝගීතා මතක පත්‍රිකාවකට (MoC) අත්සන් තැබීම සහ එය හුවමාරු කර ගැනීමයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් දර්ශන එම්. පෙරේරා මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ. ජපාන රජය වෙනුවෙන් එරට ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප ඇමති මත්සුවෝ ටකෙහිකෝ (Matsuo Takehiko) සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝටානි මසකට්සු (Murotani Masakatsu) යන මහත්වරුන් අත්සන් තැබීමට එක්විය.
ප්‍රතිපත්ති සංවාදය අතරතුර දෙරට අතර ආර්ථික සබඳතා ඉහළ නැංවීම සඳහා වූ මාර්ග සිතියමක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කෙරිණි. මෙහිදී කාර්මික ආර්ථික කොරිඩෝවක් (Industrial Economic Corridor) නිර්මාණය කිරීම සඳහා වූ මාර්ග සිතියමක් හඳුන්වා දීම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) විසින් ශ්‍රී ලංකාවේ ජපාන සමාගම් සඳහා පවතින ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාවක් සපයන ලද අතර, ඉටෝචු (Itochu) සහ මිට්සුයි (Mitsui) වැනි ප්‍රමුඛ පෙළේ ජපාන සමාගම් මෙරට සිය ව්‍යාපාරික අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙම සහයෝගීතා මතක පත්‍රිකාව සහ ප්‍රතිපත්ති සංවාදය මගින් ශ්‍රී ලංකා-ජපාන ආර්ථික සහයෝගීතාව සහ දීර්ඝකාලීන මිත්‍රත්වය නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේම නියෝජිතයෝ විශ්වාසය පළ කළහ. කාර්මික ආර්ථික කොරිඩෝ සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් ද පිහිටුවීමට නියමිතය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














