විදේශීය වෘත්තිකයන්ට සහ දුරස්ථ රැකියා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් සිය රාජකාරි කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසමින් ‘ඩිජිටල් නෝමඩ් වීසා’ වැඩපිළිවෙළ රජය විසින් නිල වශයෙන් දියත් කර තිබේ. ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ඊයේ මෙම නව වීසා ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර මෙම වීසා බලපත්‍රය යටතේ විදේශිකයන්ට වසරක කාලයක් මෙරට රැඳී සිටීමට අවසර ලැබෙන අතර එය වාර්ෂිකව අලුත් කිරීමේ හැකියාව ද පවතී.
මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම්කරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අය විය යුතු අතර ඔවුන් මාසිකව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 2,000 ක ආදායමක් උපයන බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. මෙම ආදායම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් බැහැර මූලාශ්‍රවලින් උපයන ලද්දක් විය යුතු අතර මෙරට තුළ දේශීය රැකියාවල නිරත වීම සම්පූර්ණයෙන් තහනම් වේ. ප්‍රධාන අයදුම්කරු සහ එක් එක් යැපෙන්නන් සඳහා වාර්ෂික වීසා ගාස්තුව ඇමරිකානු ඩොලර් 500 ක් ලෙස නියම කර ඇති අතර මෙම වීසා බලපත්‍රය හිමිකරුවන්ට මෙරට තුළ බැංකු ගිණුම් පවත්වාගෙන යාමට සහ නිවාස හෝ දේපළ කුලියට ගැනීමට නීත්‍යානුකූල අවසරය හිමිවේ. මීට අමතරව ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් කිරීමටත් අධිවේගී අන්තර්ජාල ඇතුළු යටිතල පහසුකම් ලබා ගැනීමටත් මෙමගින් පහසුකම් සැලසේ.
අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී අයදුම්කරුවන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව වෛද්‍ය සහ පොලිස් වාර්තා මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය රක්ෂණයක් ද ඉදිරිපත් කළ යුතුය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මීට අදාළ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි අතර මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම ඩිජිටල් ආර්ථිකයට ද විශාල උත්තේජනයක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.













