ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා වන විවෘත බඳවා ගැනීමේ තරග විභාගයේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසන් දිනය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව සිදුකරන ලද මෙම සංශෝධනයට අනුව, මීට පෙර පසුගිය වසරේ ජූනි 30 වනදා ලෙස පැවති සුදුසුකම් සම්පූර්ණ කිරීමේ දිනය ලබන මස 05 වනදා දක්වා දීර්ඝ කර ඇත.
මෙම තීරණය හේතුවෙන් මෑතකදී උපාධිය සම්පූර්ණ කළ නවක උපාධිධාරීන් විශාල පිරිසකට ද මෙවර ගුරු විභාගයට පෙනී සිටීමේ අවස්ථාව උදා වේ. රජය සැලසුම් කර ඇත්තේ දිවයින පුරා පවතින 23,000කට අධික ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පිරවීම සඳහා මෙම තරග විභාගය කඩිනමින් පැවැත්වීමටයි. ගුරු හිඟයට පිළියම් යෙදීම මෙන්ම විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.














