මුස්ලිම් ප්‍රජාවගේ දේශපාලන අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ ජාතික සමගිය පෙරදැරි කරගත් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” (Muslim Left Front) නිල දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා වූ අයදුම්පත ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
මෙම නව දේශපාලන පක්ෂයේ අරමුණු සහ ඉදිරි ගමන්මග පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ආර්.එම්. ෆයිසාල් මහතා විසින් මෙසේ පෙන්වා දී ඇත.
දිගු කලක් තිස්සේ මහජන සුභසාධන කටයුතු, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ සමාජ දැනුවත් කිරීමේ වැඩසටහන්වල නිරත වූ මෙම පෙරමුණ, දැන් නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියා කිරීමට තීරණය කර තිබේ. මෙය මුස්ලිම් ප්‍රජාවගේ හඬ ශක්තිමත් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඔවුහු සලකති.
තරුණ දේශපාලන සහභාගීත්වය, අධ්‍යාපනික ප්‍රගතිය, ආර්ථික සංවර්ධනය, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ සමානාත්මතාවය යන ක්ෂේත්‍ර කෙරෙහි මෙම පක්ෂය විශේෂ අවධානයක් යොමු කරයි. එක් ප්‍රජාවකගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පමණක් නොව, සියලුම ජාතීන් සහ ආගම් සමඟ එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීමට කැපවන බව පක්ෂ ලේකම්වරයා අවධාරණය කළේය.
ජාතික සමගිය සහ සාමකාමී දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට අර්ථවත් දායකත්වයක් ලබා දීම තම අරමුණ බව පක්ෂ නායකත්වය පවසයි. මෙම පක්ෂය “ක්‍රිකට් පිත්ත” (Cricket Bat) ලකුණ යටතේ ඉදිරියේදී දේශපාලන කටයුතු කිරීමට අපේක්ෂා කරයි.














