නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ උප අගමැති ඩේවිඩ් ලැමී (David Lammy) මහතා අද (18) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් බැහැදුටුවේය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.
ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් නිරීක්ෂණය කළ උප අගමැතිවරයා, එහි ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම පිළිබඳව ද සිය පැහැදීම පළ කළේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
උප අගමැති ඩේවිඩ් ලැමී මහතා සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමු වී ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
















