කැනේඩියානු දේශසීමා සේවා නියෝජිතායතනය (CBSA) නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2024 වසරේදී එරටට ඇතුළු වීමට නුසුදුසු යැයි තීරණය කළ පුද්ගලයින් 22,108 දෙනෙකු පිටුවහල් කර ඇති අතර, එය එරට ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගයයි.
පිටුවහල් කරන ලද මුළු පිරිසෙන් 1,010 දෙනෙකු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම, යුධ අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වූ බරපතල ගණයේ වැරදිකරුවන් වේ. වැඩිම පිරිසක් (15,605ක්) ඉවත් කර ඇත්තේ සරණාගත ඉල්ලීම් සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම් හේතුවෙනි.
මෑතකදී ටොරොන්ටෝ, වැන්කුවර් සහ එඩ්මන්ටන් වැනි නගරවල ඉන්දු-කැනේඩියානු ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන කප්පම් ගැනීමේ සිදුවීම් (Extortion) මෙම පිටුවහල් කිරීම් කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. බ්‍රිතාන්‍ය කොලොම්බියා කප්පම් මර්දන ඒකකය මඟින් හඳුනාගත් පුද්ගලයන් 296 දෙනෙකු සම්බන්ධයෙන් CBSA පරීක්ෂණ පවත්වන අතර, ඉන් පිරිසක් දැනටමත් පිටුවහල් කර තිබේ.
මෙම වසරේ මුල් මාස 10 තුළ පමණක් ඉන්දියානු ජාතිකයන් 2,831 දෙනෙකු කැනඩාවෙන් ඉවත් කර ඇති අතර, තවත් ඉන්දියානුවන් 6,515 දෙනෙකු පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත. මෙක්සිකානු ජාතිකයන්ට (3,972) පසුව කැනඩාවෙන් වැඩිම පිරිසක් ඉවත් කරන ලද දෙවන රට බවට ඉන්දියාව පත්ව තිබේ.
සංක්‍රමණික නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස කැනේඩියානු මහජනතාවගෙන් එල්ල වූ පීඩනය හමුවේ රජය මෙම දැඩි පියවර ගෙන ඇත. 2024 වසරේදී සිදුකළ 17,357ක පිටුවහල් කිරීම් සංඛ්‍යාව මේ වන විට 22,000 ඉක්මවා යාමෙන් පෙනී යන්නේ කැනඩාව සිය ආගමන විගමන ප්‍රතිපත්ති දැඩි කර ඇති බවයි.














