රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක තෝරාගත් පවුල් 1005ක් සඳහා රුපියල් 150,750,000ක (පහලොස් කෝටි හත්ලක්ෂ පනස් දහසක) මූල්‍ය ආධාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් අද (18) සාර්ථකව පවත්වා තිබේ.
මෙම මූල්‍ය ප්‍රතිපාදන හිමිව ඇත්තේ ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වන “සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය” (Social Safety Nets Project) යටතේය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීම සහ පවුල්වල ආර්ථිකය සවිබල ගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි. මෙහිදී ප්‍රජා සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට මූලිකත්වය ලබා දී ඇත.
මෙම ආධාර ප්‍රදානය කිරීමේ නිල උත්සවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේදී පැවැත්විණි.
රජය විසින් 2026 වසර සඳහා ග්‍රාමීය සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 180ක් වෙන් කර ඇති අතර, මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ ආධාර වැඩසටහන ද එම පුළුල් සංවර්ධන සැලැස්මේ එක් පියවරක් ලෙස සැලකේ.














