සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු බිම දණගස්වා, ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පස් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් සරසි පරණමාන මෙනෙවිය නියෝග කළාය. මීට අමතරව, මෙම පහර දීම සැලසුම් කළ ප්‍රධාන සැකකාර සිසුවා ඇතුළු තවත් සිසුන් දෙදෙනෙකු ඊයේ (18) පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. කිසියම් අපහාසාත්මක වචනයක් මුල් කරගෙන ගම්පොළ නගරයේ සහ නව කුරුඳුවත්ත ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් අතර මෙම ආරවුල හටගෙන ඇත.
සිසුන් 29 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ සිසුන් තිදෙනෙකුට පහර දී ඇති අතර, පහර කෑමට ලක් වූ සිසුන් මුලදී සිය දෙමාපියන්ට මේ බව පවසා නැතත්, පහර දීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ දෙමාපියන් ඒ පිළිබඳව දැනුවත් වී පසුගිය 16 වනදා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ. පහර කෑමට ලක් වූ සිසුන්ගේ කන්වලට සහ මුහුණට හානි සිදුවීම හේතුවෙන් ඔවුන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර, පහර දීමට පැමිණි පිරිස අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම ලබන දෙසැම්බරයේ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ද සිටින බව අනාවරණය වී ඇත. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














