ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට වර්තමානයේ ගෙවනු ලබන වැටුප් සහ දීමනා පිළිබඳ නිල තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී. සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම විස්තර ඉදිරිපත් කළාය.
එම දීමනා පිළිබඳ සාරාංශය මෙසේය. මන්ත්‍රීවරයෙකුගේ මූලික මාසික දීමනාව රුපියල් 54,285ක් වන අතර කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක මුදලක් හිමිවේ. දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් සහ ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ගෙවනු ලබයි. මීට අමතරව රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් හිමිවන නමුත්, අමාත්‍යාංශය මඟින් රියදුරෙකු ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ට එම දීමනාව හිමි නොවේ. මාසික සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක මුදලක් වෙන් කර ඇත.
රැස්වීම් සඳහා සහභාගී වීමේදී ගෙවන දීමනා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් ද, කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ද වශයෙන් දීමනා ගෙවනු ලැබේ. පාර්ලිමේන්තු වාර නොමැති දිනවල පවත්වන කාරක සභා රැස්වීම් සඳහා ද එම දීමනාවම හිමිවේ.
ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අදාළ මන්ත්‍රීවරයාගේ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගෙන එය ගණනය කරන බවයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කර ගනිමින්, සෑම මාසයකම පළමු වන දිනට පවතින වෙළෙඳපොළ ඩීසල් මිල අනුව මෙම ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.














