ශ්‍රී ලංකාව තුළ බළලුන් මගින් ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම පසුගිය වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී හෙළි වී ඇත්තේ, ජලභීතිකා ආසාදන බහුතරයකට හේතු වී ඇත්තේ අයාලේ යන සුනඛයන් නොව නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් බවයි. මේ හේතුවෙන් නිවෙස්වල බළලුන් ඇති කරන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
ජලභීතිකා රෝගය යනු මරණය පවා සිදුවිය හැකි අතිශය භයානක රෝගයක් වන අතර එය බල්ලන්, බළලුන්, හිවලුන්, ලේනුන්, වවුලන් සහ මැංගුස් වැනි සතුන්ගේ සපාකෑම් හෝ සීරීම් හරහා මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සුනඛ සපාකෑම් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුවද, මෑතකාලීන පරීක්ෂණවලට අනුව බළලුන් අතර ජලභීතිකා රෝගය පැතිරීම සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි.
විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බළලුන් සපාකෑම් සහ සීරීම් වාර්තා වීම ඉහළ ගොස් ඇත. බළලෙකු සීරීමකට ලක් වුවද එය සපාකෑමක් තරමටම අවදානම් විය හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ, ඕනෑම සතෙකු සපා කෑ හෝ සීරීමට ලක් වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම නිවෙස්වල ඇති කරන සුරතල් සතුන්ට නියමිත කාලයට ජලභීතිකා එන්නත් ලබා දීම අනිවාර්ය බවද බලධාරීන් වැඩිදුරටත් මතක් කර දෙයි.














