ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී 29 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරියක් ඇයගේ හිටපු ස්වාමිපුරුෂයා විසින් ඊයේ (18) අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. සැකකරු විසින් ඇයගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී, කාමරයක් තුළ ඇයව සිරකර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු ඇයගේ හිසට කිහිප වතාවක්ම පිහියෙන් ඇන ඇති අතර, පසුව මල් පෝච්චියකින් ද හිසට පහර දී තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඇයගේ වත්මන් නැන්දම්මා නිවසේ ආලින්දයේ රැඳී සිට ඇත. ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය කාන්තාව ඒ වන විට තෙමස් ගැබිනියකව සිටි බව ඇයගේ වත්මන් ස්වාමිපුරුෂයා ප්‍රකාශ කර ඇතත්, ඒ පිළිබඳ නිල තහවුරු කිරීම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සිදු කරන බව පොලිසිය පවසයි. සැකකරු මීට පෙර තමන්ට එරෙහිව ඇය විසින් ගොනු කරන ලද පවුල් ආරවුල් සම්බන්ධ නඩුවක් පිළිබඳව පැවති වෛරයක් පදනම් කරගනිමින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරේ.














