වයස අවුරුදු 97 දී කැළණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ වයස්ගතම උපාධිධාරිණිය ලෙස ඉතිහාසගත වූ විතානගේ ලීලා ඇස්ලෙන් ධර්මරත්න මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 99 වැනි වියේ පසුවූ අතර, රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මෙලෙස අවසන් හුස්ම හෙළුවාය.
1927 වසරේ උපත ලැබූ ඇය, මුල් කාලයේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක ලෙසත් පසුව බද්දේගම සහ නිල්දණ්ඩාහින්න ප්‍රදේශවල ප්‍රථම නොතාරිස්වරිය ලෙසත් සේවය කරමින් පුරෝගාමී කාන්තාවක් ලෙස නමක් දිනා ගත්තාය. 1960 දශකයේදී සිය ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වීමෙන් පසු දූවරුන් හතර දෙනෙකු තනිවම හදා වඩා ගනිමින් ඔවුන්ව වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ගුරුවරුන් සහ නීතිඥවරුන් වැනි උසස් වෘත්තිකයන් බවට පත් කිරීමට ඇය සමත් වූවාය.
ඇයගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානය වූයේ වයස අවුරුදු 97 වැනි වියේදී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය කැළණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමයි. බෞද්ධ හා පාලි සාහිත්‍යය මෙන්ම ත්‍රිපිටකය පිළිබඳවද හසළ දැනුමක් තිබූ ඇය, මහිලා සමිති සහ කලායතන බිහිකරමින් සමාජ සේවයේද නිරත වූවාය. ඇය ලොවට පෙන්වා දුන්නේ ඉගෙනීමට වයස කිසිදු බාධාවක් නොවන බවත්, දැඩි අධිෂ්ඨානයක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවත්ය.
ශ්‍රී ලාංකේය කාන්තා පරපුරට පමණක් නොව සමස්ත සමාජයටම මහා පූර්වාදර්ශයක් සැපයූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.















