බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව දැඩිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (19) පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී ආරම්භ විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම වැඩසටහනට ජාතික සංවිධාන 60ක නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. මෙම පෙත්සම ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
මේ අතර, බුදුදහමට සහ මහා සංඝරත්නයට එල්ලවන බලපෑම්වලට විරෝධය පළ කිරීම සඳහා හෙට (20) පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී විශේෂ සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මොනරාගල එක්සත් භික්ෂු සංසදය ද මෙම සමුළුවට සහාය පළ කර ඇති අතර, පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අද මල්වතු මහ නාහිමියන් බැහැදැක මේ පිළිබඳව උන්වහන්සේව දැනුවත් කිරීමට කටයුතු කළහ. රජය බුදුදහම නොසලකා හරිමින් කටයුතු කරන බවට මෙහිදී සංඝයා වහන්සේලා සිය විරෝධය පළ කර සිටිති.














