මෙතෙක් කල් මෙරට පාලනය කළ ආණ්ඩුවලින් මත්ද්‍රව්‍ය ජාලයේ ‘හාල්මැස්සන්’ පමණක් අත්අඩංගුවට ගත්ත ද, වත්මන් රජය විදේශගතව සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් හෙවත් ‘මෝරුන්’ හඳුනාගෙන ඔවුන්ට දැඩි ප්‍රහාර එල්ල කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, විදෙස් රටවලදී අත්අඩංගුවට පත්ව සිටින මෙම ජාවාරම්කරුවන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවයි.
කිසිදු පංගුපේරුවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවත්, ඇතැම් ජාවාරම්කරුවන් අමාත්‍යාංශයට පැමිණ භාරවීමට පවා අවස්ථාව ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. රජය කිසිසේත් මෙම අපරාධකරුවන් සමඟ සම්මුතිවලට එළඹෙන්නේ නැති බවත්, ඔවුන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.















