පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය 17 වැනිදා කොළඹ 7 පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ආයතනයේ වත්මන් තත්ත්වය, පහසුකම් සහ පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණ විය.
රජයේ මුදල් රුපියල් මිලියන 99ක් වැය කර 2019 දී පිහිටුවූ ඖෂධ පරීක්ෂණාගාරය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ පවතින එකඟතා නොමැතිකම හේතුවෙන් අඩපණ වී තිබේ. එසේම රුපියල් මිලියන 117ක් වැය කර ඉදි කළ ඛනිජ තෙල් හා ලිහිසි තෙල් පරීක්ෂණාගාරය ද සාම්පල ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා ප්‍රයෝජනයට නොගන්නා බව හෙළි විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශය වන්නේ “නියාමකයා සහ පරීක්ෂකයා වෙන් විය යුතු” බව වුවත්, ලංකාවේ නියාමන ආයතන විසින්ම පරීක්ෂණ සිදු කිරීම නිසා ලබැඳියාවන් පිළිබඳ ගැටුමක් (Conflict of Interest) නිර්මාණය වී ඇති බව මෙහිදී සාකච්ඡා විය.
ලංකාවට ගෙන්වන ගල් අඟුරු පරීක්ෂා කිරීම සඳහා විදේශීය ආයතනවලට මාස හයක් සඳහා රුපියල් මිලියන 32ක් පමණ ගෙවනු ලබයි. ITI නිලධාරීන් පෙන්වා දුන්නේ රුපියල් මිලියන 350ක ආයෝජනයකින් මෙම පහසුකම ආයතනය තුළම ස්ථාපිත කළ හැකි බවයි. දැනට පවතින නොරොච්චෝල විද්‍යාගාරයේ වාර්තා ජාත්‍යන්තරව හෝ අධිකරණයකදී පිළි නොගැනීමට එහි ප්‍රතීතනය (Accreditation) නොමැතිකම හේතු වී ඇත.
ITI ආයතනය ISO 17025 ජාත්‍යන්තර ප්‍රමිතිය යටතේ විශේෂිත පරාමිතීන් 1035කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතීතනය ලබා ඇති ලංකාවේ එකම ආයතනයයි. අපනයනය කරන තේ, එළවළු සහ පළතුරුවල පළිබෝධනාශක අවශේෂ පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 143ක් වටිනා අතිනවීන උපකරණයක් ද මෑතකදී ආයතනයට එක් කර තිබේ.
මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ITI වැනි රජයේ ස්වාධීන ආයතනයක් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍ය නීතිමය යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් වන එම්. කේ. එම්. අස්ලම්, නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.














