අඹේවෙල, වර්වික්වත්ත ප්‍රදේශයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට පොලුවලින් පහර දී කෲරත්වයට පත් කිරීමේ චෝදනාව මත එම දරුවන්ගේ මව සහ ඇයගේ අනියම් සැමියා අද (20) කැප්පෙටිපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර මව 31 හැවිරිදි වියේ පසුවන අතර, අනියම් සැමියා ලෙස කියන පුද්ගලයා 35 හැවිරිදි තිදරු පියෙකි. මොවුන් දෙදෙනා එක්ව වයස අවුරුදු 8ක දැරියකට සහ අවුරුදු දෙකහමාරක් වයසැති කුඩා පිරිමි දරුවෙකුට පොලුවලින් පහර දී ශාරීරික වදහිංසා පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පහරකෑමට ලක්ව තුවාල ලැබූ දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම දරුවන් දෙදෙනා මීට පෙර මිරහවත්ත, ඩයරබා වත්ත ප්‍රදේශයේ සිය මව සහ 38 හැවිරිදි නීත්‍යානුකූල පියා සමඟ පදිංචිව සිට ඇත. පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු, දරුවන්ගේ පියාගේ සමීප මිතුරෙකු බවට ද හඳුනාගෙන තිබේ. සැකකාර මව පසුගියදා දරුවන් ද රැගෙන මෙම පුද්ගලයා සමඟ පදිංචියට පැමිණ ඇති අතර එහිදී මෙම කෲර වධහිංසා සිදු කර ඇති බව අනාවරණය වේ.
කැප්පෙටිපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














