පළාත් සභා ඡන්ද විමසීම පවත්වනු ලබන මැතිවරණ ක්‍රමය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදී මේ බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.
මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු කරන අතර, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක් මීට ඇතුළත් කර ඇත. ඒ අනුව පත් කරන ලද සාමාජිකයින් අතර:
මුනීර් මුලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍රා, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් නිපුණආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියආරච්චි සහ නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
වසර ගණනාවක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය (පැරණි සමානුපාතික ක්‍රමය, කොට්ඨාස ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමය) පිළිබඳව ඇති නෛතික සහ දේශපාලනික ගැටලු නිරාකරණය කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ මූලික වගකීම වේ.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති මෙම පියවර හරහා ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ දින වකවානු පිළිබඳ පැහැදිලි තීරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














