නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ “ආර්ටෙමිස් ටූ” සඳ තරණ මෙහෙයුම සඳහා භාවිත කරන රොකට්ටුව සහ ඔරායන් යානය නැවත එකලස් කිරීමේ මධ්‍යස්ථානය (Vehicle Assembly Building) වෙත රැගෙන යාමට තීරණය කර තිබේ. මෙම තීරණයත් සමඟ ලබන මාර්තු 06 වැනිදාට නියමිතව තිබූ ඓතිහාසික සඳ ගමන අවලංගු වන බව නාසා ආයතනය නිල වශයෙන් නිවේදනය කර ඇත.
පසුගිය පෙබරවාරි 19 වන දින රොකට්ටුවේ ඉහළ කොටසේ හීලියම් වායු කාන්දුවක් හෝ එවැනි දෝෂයක් පවතින බව ඉංජිනේරුවන් විසින් නිරීක්ෂණය කරන ලදී. රොකට්ටුව දියත් කිරීමේ අංගනයේ (Launch Pad) තිබියදීම මෙම කාර්මික දෝෂය නිවැරදි කිරීමට නොහැකි බව තහවුරු වීම නිසා, ආරක්ෂිත පියවරක් ලෙස එය නැවත එකලස් කිරීමේ ගොඩනැගිල්ල වෙත ගෙනයාමට සිදුව තිබේ.
ආර්ටෙමිස් ටූ මෙහෙයුම යනු වසර 50කට පමණ පසුව ප්‍රථම වතාවට ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා රැගෙන යාමට සැලසුම් කර ඇති අතිශය තීරණාත්මක මිනිස් මෙහෙයුමකි. මෙලෙස රොකට්ටුව නැවත පරීක්ෂාවට ලක් කිරීම මඟින් ගගනගාමීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.















