2026 ජනවාරි මුල් සතියේ ඉරානයේ පැවති රජයට එරෙහි විරෝධතා මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ බිහිසුණු මෙහෙයුම සම්බන්ධයෙන් නවතම තොරතුරු “Wall Street Journal” පුවත්පත අනාවරණය කර තිබේ. ජනවාරි 8 වැනිදා ආරම්භ වූ මෙම විරෝධතා මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් ‘යුද පිටියක’ ස්වරූපයෙන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී දහස් සංඛ්‍යාත පිරිසක් මියගොස් ඇති බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙකු උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කරයි.
ජනවාරි 8 සහ 9 යන දෙදින තුළ ඉරාන ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් වෙත සජීවී උණ්ඩ භාවිත කරමින් ප්‍රහාර එල්ල කර ඇත. එම අවස්ථාවේදී මුළු රටම ලෝකයෙන් හුදකලා කරමින් අන්තර්ජාලය සහ දුරකථන සබඳතා සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට (Communications Blackout) රජය පියවර ගෙන තිබේ.
ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ මියගිය සංඛ්‍යාව 3,117ක් බව වුවද, ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සහ වෛද්‍ය වාර්තා මගින් එම සංඛ්‍යාව 30,000 ඉක්මවන බවට තොරතුරු හෙළිවෙමින් පවතී. “Iran International” ඇතුළු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දින දෙකක් ඇතුළත සිදු වූ මෙම සංහාරය ඉරාන ඉතිහාසයේ දරුණුතම සිදුවීමක් බවයි.
විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ බසීජ් (Basij) මිලීෂියා කණ්ඩායම් යොදවා තිබූ අතර, ඔවුන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරුවන්ට පවා ප්‍රහාර එල්ල කර ඇති බවට බරපතළ චෝදනා එල්ල වී තිබේ.
මෙම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හමුවේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට සහ හමුදාමය විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට මෙම සිදුවීම ප්‍රධාන හේතුවක් විය. පවතින සන්නිවේදන අවහිරතා මධ්‍යයේ ඉරාන වැසියන්ට සහාය වීම සඳහා ඇමරිකාව විසින් ස්ටාර්ලින්ක් (Starlink) ටර්මිනල් 6,000ක් පමණ රහසිගතව එරටට ලබා දී ඇති බව ද වාර්තා වේ.
මෙම වාර්තාවට අනුව ඉරාන වැසියන් පවසන්නේ තමන් ජීවත් වූ නගර යුද පිටි බවට පත්වූ බවත්, තවමත් දහස් ගණනක් අතුරුදන්ව සිටින බවත්ය.














