නාමල් රාජපක්ෂ මහතා පසුගියදා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවල සිදුකිරීමට නියමිතව තිබූ දේශනවලට දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් බාධා කළේ සත්‍ය තොරතුරු හෙළිවීමෙන් ඔවුන්ගේ අසත්‍ය ප්‍රචාරයන් බිඳ වැටේ යැයි පවතින බිය නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගීතනාත් කාසිලිංගම් මහතා පවසයි. නිදහස් මතවාද සහ විවෘත සංවාද සඳහා ලෝක ප්‍රකට එම සරසවි ද්විත්වය නාමල් රාජපක්ෂ මහතාට ආරාධනා කළේ තරුණ ප්‍රජාව නගන දැඩි ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දීමට අවස්ථාව ලබාදීමට වුවත්, ඇතැම් ඩයස්පෝරා නියෝජිතයන් තමන්ගේ පටු වාසි වෙනුවෙන් එම අවස්ථාව අවහිර කළ බව ඔහු පෙන්වා දෙයි. දෙමළ තරුණයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට තිබූ වටිනා අවස්ථාවක් මෙලෙස මගහැරී ගිය ද, දෙමළ ජනතාව සමඟ පවතින වැරදි වැටහීම් දුරු කිරීමට නාමල් රාජපක්ෂ මහතා දිගින් දිගටම කැපවන බව ද කාසිලිංගම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














