නේපාලයේ පෝඛරා (Pokhara) සංචාරක නගරයේ සිට අගනුවර වන කත්මණ්ඩු දක්වා ධාවනය වූ මගී බස් රථයක් අද (23) අලුයම ප්‍රිත්වී මහා මාර්ගයෙන් ඉවතට පැන ත්‍රිශූලි (Trishuli) නදිය අසල කන්දකින් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පිරිස අතර 24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද වන බව නේපාල පොලිසිය තහවුරු කරයි. අනතුරින් තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් චීන ජාතිකයෙකු අතුරුදන් වී ඇති බවත් තවත් චීන ජාතිකයෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
කත්මණ්ඩු නුවරින් බටහිරට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි බෙනිගාට් (Benighat) ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, රාත්‍රී කාලයේ පැවති අඳුර සහ දුෂ්කර භූමිය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල විය. නේපාලයේ පවතින දුර්වල මාර්ග නඩත්තුව සහ රියදුරන්ගේ අධික වේගය මෙම මාරක අනතුරට හේතු වන්නට ඇති බවට සැක කෙරේ.














