සමාජ සේවා කටයුතු සිදු කරන පොදු ආයතනවලට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ සහ පළාත් සභාවල වගකීමක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) බියගම නිදහස් වෙළෙඳ කලාපය අසල ඉදිකරන ලද ‘සිංහ ශත සංවත්සරික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
සිංහ සමාජයේ ශත සංවත්සරය නිමිත්තෙන් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් කොටස සහ මූල්‍ය ප්‍රතිපාදන තමා අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලබා දුන් බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. බියගම සිංහ සමාජයේ සාමාජිකයෙකු ලෙස මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති තරුණ තරුණියන්ට සහාය වීම සඳහා මෙවැනි ආයතන බිහිවීම ඉතා වැදගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය. මෙවැනි ආයතන මගින් සමාජයට ඉටුකරන මෙහෙය අතිමහත් බැවින්, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි මධ්‍යස්ථාන ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
වසර 50කට පෙර නොදියුණු මට්ටමක පැවති බියගම ප්‍රදේශය අද වන විට මංමාවත්, විදුලිය සහ කර්මාන්තශාලා සහිත දියුණු ප්‍රදේශයක් බවට පත්ව ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා, එම ප්‍රදේශයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලබා දීම පිළිබඳව සිංහ සමාජයට සිය ස්තූතිය පුද කළේය.
මෙම අවස්ථාවට හිටපු ජාත්‍යන්තර සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය, 306 D 04 සිංහ දිස්ත්‍රික් සිංහාධිපති නීතීඥ මහේෂ් කටුලන්ද ඇතුළු සිංහ සමාජයේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.














