ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද ආනයන බදු නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළද, දැනටමත් එකතු කර ඇති ඩොලර් බිලියන 130කට අධික බදු මුදල් යළි ලබා දීම (Refunds) සම්බන්ධයෙන් විශාල අවිනිශ්චිතතාවක් මතු වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් මෙම මුදල් ආපසු ගෙවිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් ලබා නොදීම මෙයට ප්‍රධාන හේතුවයි.
ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමියසන් ග්‍රීර් (Jamieson Greer) ප්‍රකාශ කර ඇත්තේ රජය මේ සම්බන්ධයෙන් අධිකරණයේ මඟපෙන්වීම් අනුගමනය කරන බවයි. “ඔවුන් (අධිකරණය) මෙම තත්ත්වය නිර්මාණය කළා, ඒ නිසා ඔවුන් කියන ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්,” යනුවෙන් ඔහු පවසා තිබේ. මීට අමතරව භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) පවසන්නේ මුදල් ආපසු ගෙවීම පිළිබඳ තීරණයක් ගැනීමට සති කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැකි බවයි.
Costco වැනි ප්‍රධාන සමාගම් දැනටමත් මෙම මුදල් යළි ලබා ගැනීම සඳහා නඩු පවරා ඇත. නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවේ අධ්‍යයනයකට අනුව, මෙම බදුවලින් 90%ක බරක් දරා ඇත්තේ ඇමරිකානු පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් මිස විදේශීය අපනයනකරුවන් නොවේ.
නීතිඥවරුන් පෙන්වා දෙන්නේ රජය විසින් මෙම මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය සංකීර්ණ කළ හැකි බවයි. මීට පෙර අධිකරණ කටයුතු අතරතුරදී බදු නීතිවිරෝධී වුවහොත් මුදල් ආපසු ගෙවන බවට රජයේ නීතිඥයන් එකඟ වී තිබුණද, දැන් එය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික සහ නීතිමය ගැටලු රැසක් පවතින බව පෙනී යයි.














