උත්සව සමයේදී පෞද්ගලික ගුවන් සමාගම් විසින් අත්තනෝමතික ලෙස ගුවන් ගමන් ගාස්තු සහ අනෙකුත් අතිරේක ගාස්තු (Ancillary charges) ඉහළ දැමීම “බරපතළ කනස්සල්ලට කරුණක්” බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රකාශ කළේය. මෙය මගීන් සූරාකෑමක් ලෙස හඳුන්වමින්, ඒ පිළිබඳව විධිමත් ප්‍රතිචාරයක් දක්වන ලෙස අධිකරණය මධ්‍යම රජයට නියෝග කර තිබේ.
විකුම් නාත් සහ සන්දීප් මේතා යන විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ, කුම්භ මේලා වැනි ආගමික උත්සව සහ අනෙකුත් ජාතික උත්සව සමයේදී ඇතැම් ගමනාන්ත සඳහා ගුවන් ගාස්තු සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකින් පමණ ඉහළ යන බවයි. මෙය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි වගන්තිය යටතේ විභාග කිරීමට අධිකරණය තීරණය කර ඇත.
රජය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අනිල් කෞෂික් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම කරුණ “ඉහළම මට්ටමින්” (Highest level) සාකච්ඡා වෙමින් පවතින බවයි. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර සති හතරක් ඇතුළත සිය ස්ථාවරය දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන එස්. ලක්ෂ්මිනාරායනන් විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ, ගුවන් සමාගම් විසින් පාරදෘශ්‍ය නොවන ඇල්ගොරිතම (Algorithm-driven pricing) භාවිතා කරමින් ක්ෂණිකව මිල ඉහළ දමන බවයි. එසේම, නොමිලේ රැගෙන යා හැකි ගමන් මලු ප්‍රමාණය (Baggage allowance) කිලෝග්‍රෑම් 25 සිට 15 දක්වා අඩු කිරීම වැනි පියවර හරහා මගීන්ගෙන් අමතර මුදල් අය කරන බවට ද එහි චෝදනා කර ඇත.














