දිගු කලක් තිස්සේ සින්නක්කර ඉඩම් අයිතියක් නොමැතිව පීඩාවට පත්ව සිටි ජනතාවට එම අයිතිය ලබාදීමේ “හිමිකම” ජාතික වැඩසටහන එළඹෙන පෙබරවාරි 27 වැනිදා පස්වරු 2.00 ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මෙතෙක් අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත පමණක් ඉඩම් පරිහරණය කළ ගොවීන්ට සහ සාමාන්‍ය ජනතාවට මෙමගින් සින්නක්කර අයිතිය (Freehold Rights) හිමිවේ. මින් පෙර පැවති නීතිමය බාධාවන් හේතුවෙන් තම භූමිය නිසි පරිදි සංවර්ධනය කිරීමට හෝ මූල්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට ජනතාවට තිබූ බාධාවන් මෙයින් ඉවත් වනු ඇත.
මෙම වැඩසටහන යටතේ දැනට පවතින අවසර පත්‍ර වෙනුවට “හිමිකම” නිදහස් ප්‍රදාන පත්‍ර ලබා දෙනු ලැබේ. ස්වකීය කැමැත්තෙන් රජයට භාර දෙන ලද දීමනා පත්‍ර සඳහා මෙම පරම අයිතිය ප්‍රදානය කිරීම විශේෂත්වයකි.
පෙබරවාරි 27 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයෙන් ඇරඹෙන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය.














