පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. එම සංගමයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ මෙම තීරණය නිසා හිටපු මන්ත්‍රීවරුන් 300ක් සහ ඔවුන්ගේ සහකාරයන් 200ක පමණ පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවයි. විශේෂයෙන්ම විශ්‍රාම වැටුපෙන් යැපුණු ආබාධිත දරුවන් සහිත පවුල් මෙයින් අන්ත අසරණ වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි. මෙම අසාධාරණයට එරෙහිව ලබන සතියේ සිට මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් රජයට එරෙහිව පොල් ගැසීමේ සහ දේව කන්නලව් පැවැත්වීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම සංගමය තීරණය කර ඇත.














