ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 පෙබරවාරි 24 වැනිදා රාත්‍රියේ කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ සිය වාර්ෂික රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය (State of the Union address) ඉදිරිපත් කළේය. “ඇමෙරිකාවට වසර 250 යි: ශක්තිමත්, සමෘද්ධිමත් සහ ගෞරවනීය” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම කතාවේදී ඔහු සිය ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව දැඩි ස්ථාවරයක සිට කරුණු ඉදිරිපත් කළ අතර එහි වඩාත්ම අවධානයට ලක් වූ කරුණ වූයේ විදේශ රටවල් මත පනවා ඇති තීරුබදු මගින් ලැබෙන ආදායමෙන් අනාගතයේදී වර්තමාන ආදායම් බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසීමයි. වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව සූරාකෑ විදේශ රටවලින් දැන් බිලියන ගණනින් තීරුබදු ආදායම ලැබෙන බවත්, එම මුදල් භාවිත කරමින් ඇමෙරිකානුවන් මත ඇති ආදායම් බදු බර ඉවත් කිරීම තම අරමුණ බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා විසින් හදිසි නීතිමය ප්‍රතිපාදන (IEEPA) යටතේ පනවා තිබූ ඇතැම් තීරුබදු ඉකුත් සිකුරාදා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලද අතර, එය ඉතා අවාසනාවන්ත තීන්දුවක් ලෙස හැඳින්වූ ට්‍රම්ප් ඒ වෙනුවට 1974 වෙළෙඳ පනතේ 122 වැනි වගන්තිය යටතේ නව 15% ක තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව පැවසීය. මීට අමතරව ටිප් මුදල්, අතිකාල දීමනා සහ සමාජ ආරක්ෂණ ගෙවීම් මත පනවා ඇති බදු ඉවත් කරන බව ඔහු යළිත් සහතික කළ අතර තමා පැනවූ තීරුබදු තර්ජනය නිසා ලෝකයේ යුද්ධ කිහිපයක් විසඳීමට හැකි වූ බව පවසමින් සාමය උදාකිරීමේ බලය තීරුබදු සතු බව පෙන්වා දුන්නේය. කතාව අතරතුර ඔහු 2026 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනූ ඇමෙරිකානු පිරිමි හොකී කණ්ඩායම සහ මෑතකදී ඇතිවූ ගංවතුරින් පුද්ගලයින් 165 දෙනෙකු බේරාගත් වෙරළාරක්ෂක නිලධාරී ස්කොට් රුස්කන්වද විශේෂ අමුත්තන් ලෙස හඳුන්වා දෙන ලදී.
ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ආර්ථිකය “රන් යුගයක්” ලෙස හැඳින්වුවද, විපක්ෂ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවසන්නේ මෙම තීරුබදු ප්‍රතිපත්තිය නිසා ඇමෙරිකානුවන්ගේ එදිනෙදා භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවයි. බදු ප්‍රතිසංස්කරණ සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ සහාය ලබා ගැනීම ඔහුට ඉදිරියේදී ඇති ලොකුම අභියෝගය වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ආදායම් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර තීරුබදු මත පමණක් රඳා පැවතීම ප්‍රායෝගිකව අසීරු බවත් එමගින් මධ්‍යම පාන්තික ජනතාවට බරක් විය හැකි බවත් බොහෝ පාර්ශව විවේචනය කරති.














