රණවිරු සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී රණවිරුවන් වෙනුවෙන් රජය මගින් වෙන් කර ඇති ඉඩම්වල පවතින නීතිමය සහ පරිපාලනමය බාධා ඉවත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.
රටේ ස්වෛරීභාවය සහ සාමය වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම් අගය කරමින් රජය විසින් හෝමාගම (මීගොඩවත්ත, පැලෙන්දාගොඩ), මතුගම (යටදොළවත්ත) සහ මොනරාගල (මදුරුකැටිය වත්ත) යන ප්‍රදේශවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ඉඩම් කොටස් වෙන් කර තිබේ. කෙසේ වෙතත්, මෙම ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි ලබාගැනීමේ ප්‍රමුඛ ගැටලු පවතින බවත්, ඇතැම් ඉඩම් බාහිර පාර්ශවයන් විසින් අනවසරයෙන් වගා කිරීම සහ අත්පත් කර ගැනීම හේතුවෙන් ගැටලු උද්ගත වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
අදාළ ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර කඩිනම් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් අමාත්‍යවරයා, රණවිරුවන්ට හිමි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක සේවා), ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














