අනුරාධපුර නගරය, නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක අනුරාධපුර විවිධ සේවා සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම ඊයේ (2026 පෙබරවාරි 24) සිදු විය. වසර 60කට අධික කාලයක් සාමාන්‍ය සාමාජිකයින්ගේ ඡන්ද අයිතිය අහිමි කරමින් එක්තරා දේශපාලන කල්ලියක් සතුව පැවති මෙම සමිතිය ප්‍රජාතන්ත්‍රවාදීව මුදාගෙන නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට හැකි වීම මෙරට සමුපකාර ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මෙම නිලවරණයට අදාළව සමුපකාර ප්‍රාදේශික 23න් 19කම මැතිවරණ පවත්වා ඇති අතර, එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කළ මහා සභා නියෝජිතයින් 116 දෙනාගෙන් 99 දෙනෙකුම විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන තිබේ. මෙතෙක් පැවති දූෂිත පාලනය අවසන් කර, ආයතනය පිරිසිදු කරමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සමඟ ඒකාබද්ධ වූ ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩනැගීම නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.
රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් ලෙස සමුපකාර ව්‍යාපාරය හඳුනාගෙන ඇති වත්මන් රජය, එය ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙනයාමට ප්‍රමුඛතාව ලබා දී ඇත. විශේෂයෙන්ම සමුපකාර මුවාවෙන් බලපත්‍ර රහිත බැංකු පවත්වාගෙන යමින් සාමාජිකයන් නොවන අයගේ තැන්පතු ලබාගෙන වැඩි පොලියට ණය ලබාදීමේ වැරදි ක්‍රමවේද නතර කළ යුතු බවත්, ඒ වෙනුවට සමුපකාර ග්‍රාමීය බැංකුව සැබෑ ජනතාවගේ බැංකුව බවට පත් කළ යුතු බවත් අදාළ අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.














