තම පන්තියේම ඉගෙනුම ලබන සිසුවියක සමඟ පවතින ප්‍රේම සබඳතාවයට විරුද්ධ වූ ඇයගේ පියාට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කැලණිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා, සිසුවියගේ පියා විසින් සබඳතාවය නතර කරන ලෙස කළ දැනුම් දීමකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ පියා මුල්ලේරියාව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති අතර, සැකකාර සිසුවා විභාගයට පෙනී සිටින අයෙකු වීම ඇතුළු දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප නියෝගය නිකුත් කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර නඩුවේ ඉදිරි විභාගය ලබන මැයි මස 14 වැනි දිනට කල් තබා තිබේ.














