කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පිහිටි ආපනශාලාවකට ඇතුළු වී රුපියල් 40,000කට ආසන්න වටිනාකමකින් යුත් ටොෆි සහ චොකලට් තොගයක් සොරකම් කළ බව කියන අවුරුදු 13, 14 සහ 15 වයස්වල පසුවන දැරිවියන් තිදෙනෙකු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි මොවුන් ළමා නිවාසයක රැඳී සිටින දැරිවියන් පිරිසක් වන අතර, එහි යතුර සොරකම් කර අලුයම 1.30ට පමණ හොර රහසේ පිටවී මෙම සොරකම සිදු කර ඇත. ආපනශාලාවේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහර දී බිඳ දැමූ මොවුන් ටොෆි, චොකලට්, ලොලිපොප් සහ චුයින්ගම් තොගයක් පොලිතින් බෑග්වල දමාගෙන නැවත ළමා නිවාසය වෙත ගොස් එහි සඟවා තිබේ.
අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් ප්‍රදේශයේ සිසීටීවී (CCTV) කැමරා දර්ශන පරීක්ෂා කර සැකකාරියන් හඳුනාගෙන ඇති අතර, පසුව ළමා නිවාසයේ සඟවා තිබූ සොරකම් කරන ලද භාණ්ඩ තොගය ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම දැරිවියන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි. මෑතකාලීනව වාර්තා වූ මෙම අසාමාන්‍ය සොරකම පිළිබඳව ප්‍රදේශවාසීන් අතර ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.















