කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නව පරිවර්තනයක් සිදු කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය. වවුනියාව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ITAM–32 ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වර්තමාන ගෝලීය ආර්ථිකය කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගත් දැවැන්ත වෙනසකට භාජනය වෙමින් පවතින බවයි. දත්ත ප්‍රාග්ධනය ලෙසත්, නවෝත්පාදනය මූලික මුදල් ඒකකය ලෙසත් ක්‍රියා කරන නූතන ඩිජිටල් ආර්ථිකය තුළ සාර්ථක වීමට නම් සම්ප්‍රදායික ව්‍යාපාරවලින් ඔබ්බට ගිය නව තාක්ෂණික ආරම්භක ව්‍යාපාර (Startups) දිරිමත් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
කෘත්‍රිම බුද්ධිය යනු හුදෙක් තාක්ෂණික ප්‍රවණතාවක් නොව, විදුලිය හෝ අන්තර්ජාලය මෙන් සෑම ක්ෂේත්‍රයකම ඵලදායිතාව නැවත හැඩගැස්වීමේ හැකියාව ඇති පරිවර්තනීය බලවේගයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග විනිශ්චය, කෘෂිකර්මාන්තයේ නිරවද්‍ය ගොවිතැන් ක්‍රම, මූල්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට AI සෘජුවම දායක වන ආකාරය ඔහු පෙන්වා දුන්නේය. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම තාක්ෂණය වැළඳ ගැනීම හරහා සංවර්ධනයේ පියවර ගණනාවක් ඉදිරියට පැනීමට මහඟු අවස්ථාවක් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
තාක්ෂණික දියුණුවත් සමඟ රැකියා අහිමි වනු ඇතැයි පවතින බිය පිළිබඳව ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඒ සඳහා ඇති එකම විසඳුම ශ්‍රම බලකාය නව නිපුණතාවලින් සන්නද්ධ කිරීම බවයි. ඒ වෙනුවෙන් ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමට සහ ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීමට රජය කැපවී සිටින බව ඔහු පැවසීය. මාර්ග සහ වරාය මෙන්ම දත්ත යටිතල පහසුකම් ද ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර, වගකීම් සහගත දත්ත පාලනය, සයිබර් ආරක්ෂණය සහ සදාචාරාත්මක AI රාමුවක් සකස් කිරීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස රජය සලකන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තාක්ෂණයේ ප්‍රතිලාභ සමාජයේ සෑම කොටසකටම සමානව ගලා යා යුතු බව අවධාරණය කළ එරංග වීරරත්න මහතා, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර පවතින ඩිජිටල් පරතරය අවම කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව පැවසීය. ග්‍රාමීය ව්‍යවසායකයින්ට, කාන්තා ව්‍යවසායකයින්ට සහ තරුණ නවෝත්පාදකයින්ට සමාන අවස්ථා ලබා දීම මෙන්ම දැරිය හැකි මිලකට අන්තර්ජාල පහසුකම් ලබා දීම හරහා කිසිවෙකුත් මඟ නොහැරෙන ඇතුළත් ආර්ථිකයක පදනම වැටෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ජාතික ප්‍රගතිය මැනිය යුත්තේ හුදෙක් දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනයෙන් පමණක් නොව, තාක්ෂණය මගින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය කොතෙක් දුරට වැඩි දියුණු කරන්නේද යන්න මත බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය දේශනය අවසන් කළේය.














